සිකුරාදා (06) පාර්ලිමේන්තුවේදී, සජබ මහලේකම් රංජිත් මන්දුම බණ්ඩාර මහතා සාක්ෂි සහිතව පෙන්නුම් කළේ ත්‍රිකුණාමලය බුදු පිළිමය හා සම්බන්ධ සිදුවීම හා බළන්ගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු හිමිවරුන් සිව්නමක් අත්අඩංගුවට ගැනීම පිටුපස පැහැදිලි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
ඔහු ආණ්ඩුවෙන් විමසා සිටියේ හිමිවරුන්ව අත්අඩංගුවට ගැනීමේ වරද පිරිත් දේශනා කිරීමද යන්නයි. තවද කුරුණෑගල බන්ධනාගාරයේ පැතිරී යන වයිරස් උන රෝගී තත්ත්වය සමග එම හිමිවරුන්ගේ ජීවිතවලට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පොලිසිය හිමිවරුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ඉතාම නින්දා සහගත කූට උපක්‍රම භාවිතා කළ බවත්, එලෙස කිරීමට ඔවුන්ට බලපෑම් කරනු ලැබුවේ කවුරුන්ද යන්න සොයාබැලීම ඉතා වැදගත් බවත්ය.
මෙවැනි දේ සිදු කිරීම පාරම්පරික බෞද්ධයෙකු ලෙස තමන් පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද ප්‍රකාශ කළ ඒ මහතා හිමිවරුන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය.
මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා "LANKANEWSWEEK" වන අප මෙම සිදුවීම පිළිබඳව සම්පූර්ණ සොයා බැලීමක් සිදුකළ අතර අධිකරණයේ එළි වූ කරුණු ද ඇතුළුව සියලු තොරතුරු මෙම ලිපිය හරහා හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙමු.
කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු ශ්‍රී ලංකාවේ උපසම්පදාව සම්පූර්ණයෙන්ම අවසාන වීමෙන් පසුව විමලධර්ම සූරිය රජු විසින් සියම් දේශයෙන් (තායිලන්තය) උපාලි මහ තෙරුන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර එම ස්වාමීන් වහන්සේලා පැමිණි නෞකාව අප රටට සේන්දු වූ ස්ථානයේ මෙම විහාරස්ථානය පිහිටා තිබෙන බවට ඉතිහාස කරුණු වාර්තාවේ. ඒ අනුව අනාදිමත් කාලයක සිට මෙම ස්ථානයේ මෙම බෝධීන් වහන්සේ ඇතුළුව බෝධීන් 4 ක් දැකගැනීමට හැකියි. මෙම බෝධීන් හතරම වසර සිය ගණනක් පැරණි අතර ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණය කරනු ලබයි.
ඒ අනුව මෙම විහාරස්ථානය වෙරළට සම්බන්ධව පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් වන අතර පසුව වෙරළට සම්බන්ධ කර නිර්මාණය වූවක් නොවේ. මෙම විහාරස්ථානය 1951දී විහාර හා දේවාලගම් පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා විසින් ලියාපදිංචි කර ඇති අතර එම ලියාපදිංචි සහතිකය ද මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙහි ලියාපදිංචි අංකය බෞ.ක.කො/වි. හා. දේ/13/15/009 ලෙස අදාළ ලියාපදිංචි සහතිකයේ සඳහන් වේ. මේ විහාරය යටතේ දහම් පාසලක්ද ක්‍රියාත්මක වන අතර එය 1963 දී ලියාපදිංචි කර ඇත.
පසුව මෙම විහාරය 2003 දී සුනාමි ව්‍යසනය හේතුවෙන් විනාශයට පත් වී ඇති අතර එහිදී පස් ගසාගෙන යාම හේතුවෙන් විමලධර්ම සූරිය රජුගේ කාලයේ තැන්පත් කරන ලද බුදු පිළිමයද සොයා ගැනීමට හැකි වී ඇත. එම බුදුපිළිමය අදටද පන්සල සතුව සංරක්ෂණය කර ඇති අතර මෙම බුදු පිළිමයද වසර සිය ගණනක් ඉපැරණි බව පරීක්ෂා කොට තහවුරු කොට ඇත.
අද වන විට විහාරස්ථානයක් සතු ඉඩම එම විහාරයට ලැබෙන ප්‍රධාන ආකාර හතරක් පවතින ඒවා නම් රජු විසින් ලබාදුන් සන්නස්පත්‍රයක්, Crown land එකෙන් රැජිණ ලබාදුන් ඉඩමක්, ජනාධිපති ප්‍රධානයක් ලෙස ලබාදීමක් හෝ පෞද්ගලික දානපතියෙකු විසින් පූජා කරන ලද ඉඩමක් වේ. ඒ අනුව මෙම ඉඩම, සුනාමි ව්‍යසනයෙන් පසුව නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014දී ජනාධිපති ප්‍රධානයක් ලෙස මෙම ඉඩම ලබාදී තිබෙනුයේ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනුම් ප්‍රතිවරයාගේ නියෝගයකට අනුව කීර්තිමත් මිනින්දෝරුවකු ලෙස සැලකෙන සුන්දරලිංගම් මහතා විසින් සකස් කරන ලද සුන්දරලිංගම් මිනුම් ගොනුවකට ඇතුළත්ව වේ.
සුනාමි ව්‍යසනයෙන් අනතුරුව මෙම නැවත ප්‍රතිසංස්කරණය කරනු ලබන ක්‍රියාවලියේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරියෙන් ද අදාළ ප්‍රතිසංස්කරණය සඳහා අවසර ලබාගෙන ඇති අතර එම අවසර ලබාදුන් සියලුම ලිපි ලේඛන මේ වනවිටත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම විහාරස්ථානයේ ඓතිහාසික සහ නිත්‍යානුකූල පදනම මෙලෙස පැවතිය දී, මෙලෙස ගැටළුවක් නිර්මාණය කිරීමට යම් පිරිසකට අවශ්‍යතාවයක් පැවතියද යන්න සොයා බැලීමට අප කටයුතු කරනු ලැබීය.
ගැටලුවට මුල් වූ කරුණු මොනවාදැයි දැන් අපි සොයා බලමු.
මෙම විහාරස්ථානය බෞද්ධ ජනතාව පිරි වටපිටාවක නොපිහිටා ඇති නිසා විහාරස්ථානය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් පවා පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා යම් ආදායමක් උපයා ගැනීමට කුඩා ජූස් බාර් එකක් ආරම්භ කිරීමේ අදහසින් ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇත. මෙම සම්පූර්ණ ඉඩම ඉඩම් කොටස් දෙකක් ලෙස පිහිටා ඇති අතර LOT අංක දෙක ඉඩමේ මෙම ජූස් බාර් එක ආරම්භ කිරීමට අවසර ඉල්ලා ඇත. ඒ සඳහා වෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ අවසරය ලැබී ඇති අතර ඒ අනුව එම භූමියේ ජූස් බාර් එක ආරම්භ කර ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ 2025/7/23 වැනිදා හදිසියේම වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂකවරයා විසින් වසර ගණනාවක් පවත්වාගෙන ගිය මෙම ජූස් බාර් එක සඳහා ලබා දී ඇති බලපත්‍රය අවලංගු කරන ලෙස විහාරස්ථ ස්වාමීන් වහන්සේලාට දන්වා ඇත. හදිසියේම මෙවැනි තීරණයකට පැමිණීම පිටුපස මෙම ඉඩම ලබා ගැනීමට වෙනත් පාර්ශවයකට වුවමනා වී ඇත්දැයි ඕනෑම අයකුට සැක පහළ වේ. මෙයට හේතුව ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ මායිමේ ඇති තාප්පය අවසර දී ඇත ඉඩෙන් සුළු ප්‍රමාණයක් ඉවතට ගොස් තිබීමයි.
මෙපමණ වසර ගණනක් පවත්වාගෙන ගිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, නිවාස සංවර්ධන අධිකාරියෙන්, නාගරික සංවර්ධන අධිකාරියෙන්, සමුද්‍රික සංරක්ෂණ අධිකාරියෙන් හා මධ්‍යම පරිසර අධිකාරියෙන්ද අවසර ඇතිව පවත්වාගෙන ගිය මෙම ජූස් බාර් එකේ බලපත්‍රය හදිසියේම අවලංගු කිරීම සම්බන්ධව හිමිවරුන් පුදුම වී සිටින පසුබිමක වෙරළ සංරක්ෂණ අධිකාරියේ නිලධාරියකු වන සුන්දර කුමාර් දීපරාජ් නම් පුද්ගලයෙක් පොලිසියට දැනුම් දී ඇත්තේ අප විසින් ලබා දුන් අවසරය 2025 ජූලි 23 වැනිදායින් අවසන් බවත් එම නිසා එම ගොඩනැගිල්ල කඩා ඉවත් කරන ලෙසත්ය.
මේ පිළිබඳව පොලිසිය විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාට දැනුම් දීමෙන් අනතුරුව නායක ස්වාමීන් වහන්සේ විසින් පොලිසියට දැනුම් දී ඇත්තේ මේ සඳහා දින 7ක් ලබා දෙන ලෙසත්, ඒ අතරතුර තමා අභියාචනයක් ඉදිරිපත් කරන බවත්ය. ඒ අනුව ස්වාමීන් වහන්සේ විසින් අභියාචනා අධිකරණයට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව, අභියාචනාධිකරණය නියෝග අනුව නීතිපතිතුමා විසින් එම ස්ථානය පරීක්ෂාවට ලක් කර ඇති අතර සියලු ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මායිමෙන් පිටත ප්‍රමාණය පමණක් කඩා ඉවත් කර මෙම ජූස් බාර් එක පවත්වාගෙන යාමට අවසර ලබාදෙන බවයි.
එතනින් එම ගැටළුව අවසන් වූ අතර, රටම කැලඹීමට පත් වූ මෙම සිදුවීම වූයේ 2025/11/16 වෙනිදා හදිසියේම පැමිණි පොලිස් නිලධාරීන් එතන තිබුණු බුද්ධ රූපයක් උදුරාගෙන යාමට කටයුතු කිරීමත් සමඟ වේ. ඒ පෙර සදහන් කරන ලද වෙරළ සංරක්ෂණ නිලධාරී සුන්දර මූර්ති දීපරාජ් යන අය තාවකාලික අනවසර ඉදිකිරීමක් ඉදිකිරීමට සැක සහිත අයුතු ජනරාශියක් එම භූමියේ සිදුවන බවට ලද පැමිණිල්ලකට අනුවය.
ඒ අනුව මෙම තත්වය දෙස අවධානයෙන් බලන ඕනෑම අයෙකුට පෙනී යන්නේ පන්සලට යම් ආදායමක් ලබා ගැනීමට පවත්වාගෙන යන මෙම ජූස් බාර් එක තම බලය පාවිච්චි කරමින් කුමක් හෝ තත්ත්වයක් නිර්මාණය කොට ලබා ගැනීමේ අභිප්‍රායෙන් යුත් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම තත්වය නිර්මාණය කර ඇති බවයි. අපට වාර්තා වී ඇති තොරතුරු අනුව එම ජූස් බාර් එක කිහිප වතාවක්ම යම් යම් පිරිස් විසින් පන්සලෙන් ඉල්ලා ඇති අතර ස්වාමීන් වහන්සේලා එම ජූස් බාර් එක එලෙස ලබා නොදෙන බවත්, එය පන්සලට ආදායමක් ලබා ගැනීම සඳහා පමණක් පවත්වාගෙන යන බවත් දැනුම් දී ඇත.
නමුත් අධිකරණයට ඉදිරිපත් වූ තොරතුරු අනුව බී වාර්තාවේ සඳහන් වනුයේ අදාළ පැමිණිල්ල මෙම සිදුවීම සිදුවූ දිනට පසු දින එනම් නොවැම්බර් 17 වන දින සිදුකර ඇති බවයි. මෙහිදී අදාළ බුදුපිළිමය නඩු භාණ්ඩයක් ලෙස පොලිසියට ගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ බුදු පිළිමය නඩු භාණ්ඩයක් බවට පත්කොට රැගෙන ගිය බවත්, අනතුරුව එයට පුද පූජා කළ බවත්ය. කෙසේ නමුත් අදාළ බුදුපිළිමය ඊට පහුවෙනිදාම එනම් නොවැම්බර් 17 වන දින නැවත එම ස්ථානයටම වඩම්මා පිහිටි තැනම ස්ථාපනය කිරීමට පොලිසිය පසුව පියවර ගන්නා ලදී.
.jpg)
මෙම බුදුපිළිමය හිඳුවා තිබුණේ මේසයක් මත පමණක් වීම නිසා මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසුවේ මෙහි පැවති අනවසර ඉදිකිරීම කුමක්ද යන්නයි. එහිදී පොලිසිය ප්‍රකාශ කළේ පිළිමයේ ආරක්ෂාවට තාවකාලිකව ඉදිකර තිබූ වහලය අනවසර ඉදිකිරීමක් බවයි.
කෙසේ නමුත් පොලිස් පොතේ මේ සඳහන් කර තිබුණේ මඩුවක් ඉදිකර තිබූ බවට වීමද විශේෂත්වයක්.
එසේම 17 දින ලැබෙන පැමිණිල්ලකට, 16 දින පොලිසිය ක්‍රියාත්මක වීම ඉතාම විශාල ගැටළුවක් නිර්මාණය කර ඇති අතර මෙය කාගේ වුවමනාවකට සිදුවූවක්ද යන්න පරීක්ෂා විය යුතු බව නීතිඥයන්ගේ අදහස විය.
එසේම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විමසා සිටියේ මෙම බුදු රූපය ගැන වෙනත් කිසිදු ආගමකට අදාළ පුද්ගලයෙකුට ගැටළුවක් නොමැති පසුබිමක මෙයින් ජනතාව අතර කැලඹීමක් සිදුවන්නේ කෙසේද යන්නයි. මෙහිදී ගැටලුව නිර්මාණය වී ඇත්තේ පොලිසිය සහ විහාරස්ථාන ස්වාමීන් වහන්සේලා අතර වීම විශේෂත්වයක්. මෙයින් පැහැදිලි වන්නේ මෙම විහාරස්ථානය පවතිනවාට අකමැති කවුරුන් හෝ කෙනෙකුගේ උවමනාවට පොලිසිය ක්‍රියාත්මක වී ඇති බවයි.
අනතුරුව නඩුවේ ඉදිරි වැඩකටයුතු සඳහා අනෙකුත් පාර්ශවයන් කැදවන ලෙස අධිකරණය නොතේසි නිකුත් කිරීමෙන් පසු ස්වාමීන් වහන්සේලා සිව් නම සහ ගිහි පුද්ගලයෙකු පැමිණි අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කල අතර ඇප දීමද ප්‍රතික්ෂේප කර ඇත. මෙහිදී අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇති චෝදනා පිළිබඳව සොයා බැලූ මහේස්ත්‍රාත්වරයාට පෙනී ගියේ අයුතු ජනරාශිය සහ වෙරළ සංරක්ෂණ පණත පණත උල්ලංඝනය කිරීම ලෙස දක්වා ඇති බවයි.
අයුතු ජනරාශියක් වීමට නම් පුද්ගලයින් පස් දෙනෙකුට වැඩි පිරිසක්, නීති විරෝධී කටයුත්තක් සිදුකිරීම සඳහා සාකච්ඡා කොට ක්‍රියාත්මක විය යුතු අතර මෙහිදී සිදුවූ නීති විරෝධී කටයුතු කුමක්ද යන්නද ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත. පොලිසිය මෙහිදී දක්වා ඇත්තේ යම් ආගමික කටයුත්තක් සිදු කරන අතර පිරිත් දේශනා කර ඇති බවයි. පිරිත් දේශනා කිරීම නීති විරෝධී කටයුත්තක් ලෙස අර්ථ දක්වා ඇත්තේ කෙසේද යන්නයි. ඊළඟ චෝදනාව වන නීති විරෝධී ඉදිකිරීම වී ඇත්තේ පොලිසිය විසින් මඩුවක් ලෙස දක්වා ඇති බුදු පිළිමයට ඉහළින් තාවකාලිකව ඉදිකර ඇති වහලයයි.
කෙසේ නමුත් මෙහිදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඇප ඉල්ලා සිටි අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රපාල ප්‍රකාශ කළේ 'මේගොල්ලෝ මට මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා තියෙනවා, ඒක ඉවත් කරගන්නවනම් හැර මම ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනවා සහ සමගි වීම ප්‍රතික්ෂේප කරනවා' යන්නයි.
මෙහිදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිදු වූ දේ පැහැදිලි කිරීමට බලංගොඩ කස්සප හාමුදුරුවන්ට අවස්ථාව ලබා දෙන ලෙසයි.
එහිදී අදහස් දක්වමින් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ 'මේ ඉන්න ASP චන්ද්‍රපාර මහත්තය මට ඇතුළු භික්ෂූන් වහන්සේලාට පන්සලට ඇවිත් තර්ජනය කරනවා, ඒ තර්ජනය දැනගෙන නමවන සැකකරු කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට එනවා. A S P චන්ද්‍රපාල මහත්තයා මේ බව දැනගෙන රාත්‍රී කාලයේදී 2016 රාජ්‍ය අනුග්‍රහය යටතේ හැදූ කම්බි වැටේ කම්බි කැපුවා. අපි කපන්න එපා කියද්දි මගේ ඇඟිල්ල පවා තුවාල වුණා. ඒ පිළිබඳව වීඩියෝ සාක්ෂි පවා තිබෙනවා. අපි ඒව කියද්දී මේ පොලිසියේ මහත්තුරු අපිට ගැහුවා. මුතු කුඩය දෙකට කඩලා ගැහුවේ. මේ හාමුදුරුවන්ගේ මෙතන තුවාල වුණා. අපේ දෙන්නෙක් රෝහල් ගත කරා. ඒ බව දැනගෙන 9වන සැකකරු එනකොට රෑ දෙකයි. එයා මේකට සම්බන්ධ නෑ. එතකොට දීපානි අම්මා.. ඒ අම්මා අහිංසක කෙනෙක්. මේ දේවලට සම්බන්ධ නෑ.. එතකොට සැකකරුවන් බොහෝ දෙනෙක් මේ ඉදිකිරීම් චෝදනාවට සම්බන්ධ නෑ.. අපි අහන්නේ වෙරළ සංරක්ෂණ පනත කොහොමද මේ සැකකරුවන්ව අරගෙන නඩු දාන්නේ කියලා'.
මේකෙන් ඉතාම පැහැදිලි වනුයේ මේ වෙරළ සංරක්ෂණ පනතේ වගන්ති දෙකක් පැටළුවේ මේ පිරිස හිරේ තියෙන්න උවමනාවට පොලිසියේ කුමන්ත්‍රණයක් ලෙස බව ය. මෙහිදී ස්වාමීන් වහන්සේ මෙම පහරදීම සිදුකරනු ලැබුයේ ASP චන්ද්‍රපාල විසින් බවද අධිකරණයට ප්‍රකාශ කරනු ලැබුවේ ය.
මෙහිදී ඇතිවන ගැටලුව නම් මෙලෙස තමාට පවතින නඩුවක් ඉවත් කරන්නේ නම්, ඇප වලට එකඟ වෙන්නම් ලෙස ගරු අධිකරණයේදීම ප්‍රකාශ කළ ASP චන්ද්‍රපාලට එරෙහිව පොලිස් කොමිසම ගෙන ඇති පියවර කුමක්දැයි ඇසිය යුතුව ඇත. මෙලෙස ස්වාමීන් වහන්සේලාට පහර දී ඇති බවට සාක්ෂි සාධක තිබියදී කිසිදු ගැටලුවකින් තොරව එම පොලිස් අධිකාරීවරයා තවමත් සේවයේ නියැළීම ඉතාම ගැටළු සහගත බව නීතිඥවරුන් පෙන්වා දෙයි.
මෙය අසා සිටි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ 'මම මෙතන රෑ 12 වෙනකන් ඉන්නම්, ඔය කියන වහලය හෝ මඩුව ඉවත් කර පොලිස් නිලධාරීන්ට පෙන්වීමෙන් පසුව මෙම ස්වාමීන් වහන්සේලාට අපදීමට කටයුතු කරන ලෙසයි. එයට එකඟ නොවූ පොලිසියට නැවතත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ඔබ චෝදනාපත්‍රය ලබාදෙන්න, එවිට මම රුපියල් 5000ක දඩයක් ගහල ස්වාමීන් වහන්සේලාව නිදහස් කරන්නම්' යන්නයි.
එවිට ASP චන්ද්‍රපාල චෝදනා පත්‍රය අතේ තබාගෙන ප්‍රකාශ කළේ 'තව හතර දෙනෙක් මට ගන්න ඉන්නවා ඔවුන්ව ගන්නකම් චෝදනා පත්‍රය දාන්න බෑ' ලෙසයි.
අවසානයේ ස්වාමීන් වහන්සේලා හතර දෙනාම රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ අතර මේ වන විට උන්වහන්සේලා සිව් නමම ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ පැතිරී යන උණ රෝගයෙන් පෙලෙන බවට ද තොරතුරු වාර්තා වී ඇත. අදටත් පොලිසියෙන් ඇප ලබාදීමට කිසිදු සහයෝගයක් ලබා නොදෙන අතර ASP චන්ද්‍රපාල සේවයේ නියැළී ඇත.
Lanka Newsweek © 2026